09/07/2026
සංගීතා වීරරත්න කියන්නේ අපේ සිනමාවේ දශක කිහිපයක් තිස්සේ ජනාදරයට පත් වූ ප්‍රමුඛ පෙළේ සහ සම්මානනීය රංගන ශිල්පිනියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරියකි. 1990 දශකයේ සිට ලාංකේය රිදී තිරයේ කැපී පෙනෙන සලකුණක් තැබූ ඇය, සිනමා තාරකාවක් ලෙස සුවිශේෂී ජනප්‍රියත්වයක් දරණ රංගන ශිල්පිනියකි.
ප්‍රකට සිනමාපට කැමරා ශිල්පී තිමොති වීරරත්න මහතාගේ දියණිය වූ ඇය, සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 16 දී (1990 වසරේ) රෝයි ද සිල්වාගේ 'ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්' චිත්‍රපටය හරහායි.
නොමියෙන මිනිසුන්, මාරුතය, දොරකඩ මාරාව, කිණිහිරියා මල්, අස්වැසුම, සලෙලු වරම සහ උප්පලවන්නා වැනි සිනමාපට 50කට අධික සංඛ්‍යාවකට ඇය දායක වී ඇත. 1993 දී එච්. ඩී. ප්‍රේමරත්න මහතාගේ 'සප්ත කන්‍යා' චිත්‍රපටයේ 'දීප්ති' ලෙස කමල් අද්දරාරච්චි සමඟ කළ රංගනය ඇයව ක්ෂේත්‍රයේ ඉහළටම ඔසවා තබන්නට සමත්විය.
සංගීතා වීරරත්න 2006 දී තිරගත වූ 'සෙව්වන්දි' චිත්‍රපටය නිෂ්පාදනය කරමින් නිෂ්පාදිකාවක ලෙසද කටයුතු කළාය.
සරසවිය සම්මාන උළෙලවලදී හොඳම නැඟී එන නිළිය, හොඳම නිළිය මෙන්ම වසර කිහිපයක් පිට පිටම වඩාත්ම ජනප්‍රිය නිළිය ලෙසද සම්මානයට පාත්‍ර වූ සංගීතා අවසන් වරට ප්‍රධාන සිනමා නිර්මාණයකින් දකින්නට ලැබුණේ 2021 දී තිරගත වූ "කවුරුවත් දන්නේ නෑ" චිත්‍රපටයෙනි.
සංගීතා වීරරත්න යළි සිනමාවෙන් දකින්න ලැබෙන සිනමා නිර්මාණ කිහිපයක් වේ. ඒ අතර ඩිල්ශාන් අමරසිංහගේ "ආදරණිය තරුවක්", ජීවන් කුමාරතුංගගේ "ජීවා" සහ බෙනට් රත්නායකගේ "Sing Out" හැඳින්වීමට පුළුවන්.
සංගීතා වීරරත්නට අපේ සිනමාවෙන් සුබ පැතුම්...!