14/08/2025
🇯🇵 ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සඳහා ජපානයේ වෘත්තීමය අවස්ථා සහ උපදෙස් 🇱🇰
මෑත කාලයේදී ජපානය ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සඳහා වඩ වඩාත් ආකර්ශනීය වෘත්තීය ගමනාන්තයක් බවට පත්ව ඇත. සිවිල් සහ යාන්ත්‍රික සිට විදුලි, තොරතුරු තාක්ෂණ/මෘදුකාංග සහ ඉලෙක්ට්‍රොනික දක්වා විවිධ වූ ඉංජිනේරු ක්ෂේත්‍ර හරහා රැකියා අවස්ථා මතුවෙමින් පවතින අතර උපාධිධාරීන්ගේ උනන්දුව මේ වෙත යොමු වී ඇත. මේ සඳහා විශේෂයෙන්ම ජපානය තෝරා ගැනීමට සාධක කිහිපයක් බලපානු ලැබේ. උදාහරණ ලෙස ශ්‍රම හිඟය, ශ්‍රී ලංකාවට සාපේක්ෂව තරඟකාරී වැටුප්, ඉහළ ජීවන තත්ත්වයක් සහ කෙටි කාලයකින් වෘත්තීය සංවර්ධනය, දියුණු තාක්ෂණය සහ ඒ හා සම්බන්ධ අවස්ථා ආදිය ගත හැකිය.
🍀ජපානය ඉංජිනේරුවන් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් වන්නේ ඇයි?
①ඉංජිනේරුවන් සඳහා ඉහළ ඉල්ලුමක්
ජපානයේ වයස්ගත වන ජනගහනය සහ පුළුල් වන තාක්ෂණික කර්මාන්ත හේතුවෙන් දක්ෂ ඉංජිනේරුවන් සහ තාක්ෂණික සේවකයින්ගේ බරපතල හිඟයකට මුහුණ දී සිටී. 2019 දී, ජපාන රජය ශ්‍රම හිඩැස් පිරවීම සඳහා වසර පහක් තුළ විදේශීය සේවකයින් 345,150 ක් දක්වා බඳවා ගැනීම සඳහා නව වීසා මාර්ග හඳුන්වා දී ඇත. ශක්තිමත් තාක්ෂණික අධ්‍යාපනය සහ ඉංග්‍රීසි භාෂා කුසලතා සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් වෙත ජපානයේ අවධානය යොමු වී ඇති බව රහසක් නොවේ. ජපන් සමාගම් ඔවුන්ට අවශ්‍ය ශ්‍රම අවශ්‍යතා පියවා ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ, ඉලෙක්ට්‍රොනික, ඉදිකිරීම් සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල බඳවා ගැනීම් සිදු කරමින් සිටී. විශේෂයෙන්, ජපන් සමාගම් සහ ඉංජිනේරුවන් සඳහා රැකියා වීසා සහාය ලබා දේ. සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයන් බොහෝ විට තෝකියෝ නගරය ආශ්‍රිත ව්‍යාපාරවල මෘදුකාංග සංවර්ධන භූමිකාවන්හි සිට නිෂ්පාදන කම්හල්වල ඉංජිනේරු තනතුරු දක්වා පුළුල් පරාසයක රැකියා අවස්ථා සොයා ගනී.
②තරඟකාරී වැටුප්
ජපානයේ ඉංජිනේරුවන් සඳහා වන වැටුප් ශ්‍රී ලංකාවේ වැටුප්වලට වඩා සැලකිය යුතු ලෙස වැඩි වේ. ජපානයේ ආරම්භක මට්ටමේ ඉංජිනේරුවන්ට ආකර්ශනීය වැටුපක් උපයා ගත හැකි අතර පළපුරුදු ඉංජිනේරුවන්ට ඉතා ඉහළ වැටුපක් ලබා දෙනු ලැබේ. නිදසුනක් වශයෙන්, තෝකියෝවේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවන් සඳහා මෑතකදී කරන ලද රැකියා ඇබෑර්තුවක් මගින් මාසික වැටුප ¥800,000 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2) පමණ බඳවා ගැනීම් සිදුකරන ලදී., සාමන්‍ය මට්ටමේ වැටුප් පවා ¥250,00–¥500,000 පමණ වේ. මූලික වැටුපට අමතරව, බොහෝ සේවා යෝජකයින් වසරකට දෙවරක් ප්‍රසාද දීමනා, අතිකාල වැටුප් සහ වෙනත් ප්‍රතිලාභ ලබා දෙයි. ඉහළ වැටුප් මගින් සංක්‍රමණිකයින්ට මුදල් ඉතිරි කර ගැනීමට, තමාන්ගෙන් යැපෙන්නන් සඳහා සහයෝගය දැක්වීමට සහ ඉහළ ජීවන තත්වයක් භුක්ති විඳීමට හැකි වේ.
③ඉහළ ජීවන තත්ත්වය
ජීවන තත්ත්වය, ආරක්ෂාව සහ සෞඛ්‍ය සේවා සඳහා ජපානය නිරන්තරයෙන් ඉහළ මට්ටමක පවතී. ජපානයට සංක්‍රමණය වන විදේශීය සේවකයෝ නවීන යටිතල පහසුකම් සහිත පිරිසිදු හා කාර්යක්ෂම පරිසරයක් තුල සේවයේ යෙදෙති. විශිෂ්ට පොදු ප්‍රවාහනය (දුම්රිය සහ බස් රථ නියමිත වේලාවට ධාවනය වේ), පිළිවෙල සහ ආරක්‍ෂිත නගර සංකීර්ණ සහ විශ්වාසදායි සේවා ආදිය ප්‍රධාන ස්ථානයක් ගනී. ඉංජිනේරුවන් බොහෝ විට තෝකියෝ, ඔසාකා හෝ නගොයා වැනි නාගරික මධ්‍යස්ථානවල ජීවත් වන අතර එය ඔවුන්ට ඉතාමත් අගනා සංස්කෘතික අත්දැකීමක් ලබා දෙයි. ජීවන වියදම ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක පැවතුනද, ඉහළ වැටුප් පාරාසයන් හේතුවෙන් එය ගැටළුවක් වන්නේ නැත. බොහෝ ජපන් සමාගම් නිවාස හෝ ස්ථාන මාරු වියදම් සඳහා සහාය වීමට බැඳී සිටී. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ මෙන් ජපන් සමාජයේද වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වීම ඉමගත් ගරුත්වයක් ගෙන දෙන කරුණකි.
④වෘත්තීමය සංවර්ධනය සහ කුසලතා වර්ධනය
ජපානයේ සේවයේ යෙදීමෙන් විශේෂයෙන්ම ඉංජිනේරුවෙකුගේ වෘත්තීමය ජීවිතය සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය හැකිය. රොබෝ තාක්ෂණයේ සිට ඉලෙක්ට්‍රොනික හා මෘදුකාංග නවෝත්පාදනය දක්වා බොහෝ තාක්ෂණයන්හි ඉදිරියෙන්ම සිටින ජපානය, ඉංජිනේරුවන් උසස් ව්‍යාපෘති සහ ක්‍රමවේදයන් සඳහා නිරාවරණය කර දේ. ගෝලීය කාර්මික මධ්‍යස්ථානයක් වන ජපානයේ ලබා ගන්නා අත්දැකීම් ජාත්‍යන්තරව ඉතා අගය කොට සලකනු ලබන අතර, දිගු කාලීනව ජපානයේ රැඳී සිටියත්, වෙනත් රටකට රැකියාවක් සොයනවා වුවත්, මව් රටට නැවත පැමිණියත් ඉහළ පිළිගැනීමට ලක්වන බව නොරහසකි. බොහෝ ඉංජිනේරුවන් ඔවුන්ගේ ජපන් සේවා කාලය තුල නව තාක්ෂණික කුසලතා ලබා ගැනීමට, ජපන් කළමනාකරණ පිළිවෙත් ඉගෙන ගැනීමට සහ ජපන් භාෂාව පවා ඉගෙන ගැනීමට උනන්දු වේ. මීට අමතරව, සමහර ජපන් සමාගම් සේවක පුහුණුව සඳහා ආයෝජනය කර, පර්යේෂණ අවස්ථා ලබා දෙයි.
⑤ඉංජිනේරු විෂය ක්ෂේත්‍රය අනුව අවස්ථා
ජපානයේ ඉංජිනේරුවන් සඳහා ඇති ඉල්ලුම විවිධ ක්ෂේත්‍ර දක්වා විහිදෙන අතර, විදේශීය ශ්‍රමිකයන් සඳහා රැකියා අවස්ථා රාශියක් නිර්මාණය කරයි. විශේෂයෙන්, ක්ෂේත්‍ර හතරක ශ්‍රී ලාංකිකයින්ට සැලකිය යුතු අවස්ථා ලබා ගත හැකිය.
👉සිවිල් ඉංජිනේරු විද්‍යාව:
ජපානයේ සිවිල් ඉංජිනේරුවන් සඳහා ඇති අවශ්‍යතාවය ඉහළ මට්ටමක පවතී. ජපානය තම රටේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම්, මාර්ග, පාලම්, දුම්රිය මාර්ග සහ ගොඩනැගිලි ඉදිකිරීම සහ නඩත්තු කිරීම සඳහා විශේෂඥතාව සොයමින් සිටී.
👉යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව:
දැවැන්ත නිෂ්පාදන සහ මෝටර් රථ කර්මාන්ත වල මෝටර් රථ නිර්මාණය, රොබෝ විද්‍යාව, බර යන්ත්‍රෝපකරණ සහ කාර්මික උපකරණවල වැඩ කටයුතු සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන් වෙනුවෙන් විශාල ඉල්ලුමක් ඇත. 2024 වාර්තාවකින් ඇස්තමේන්තු කර ඇති ආකාරයට ජපානයට එහි නිෂ්පාදන විශිෂ්ටත්වය පවත්වා ගැනීම සඳහා මෙම අංශය හරහා ඉංජිනේරුවන් දස දහස් ගණනක් අවශ්‍ය බව වාර්තා වී ඇත. නිෂ්පාදන ඉංජිනේරු විද්‍යාව, ස්වයංක්‍රීයකරණය හෝ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ අත්දැකීම් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවන්ට බොහෝ රැකියා අවස්ථා සොයා ගැනීමට හැකි වනු ඇත.
👉විදුලි/ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව:
ජපානයේ අධි තාක්‍ෂණික ඉලෙක්ට්‍රොනික කර්මාන්ත දැඩි ශ්‍රම හිඟයන් වලට මුහුණ දී සිටී. විදුලි පද්ධති, අර්ධ සන්නායක නිෂ්පාදනය, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ ආශ්‍රිත රැකියා සඳහා විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් වෙනුවෙන් දැඩි ඉල්ලුමක් පවතී.
👉තොරතුරු තාක්ෂණය (IT) සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව:
බොහෝ සමාගම් විදේශයන්ගෙන් මෙම ක්ෂේත්‍රය සඳහා සක්‍රීයව බඳවා ගනී. JAVA, C, PHP - ආදිය, දත්ත විද්‍යාව සහ පද්ධති ඉංජිනේරු විද්‍යාව ඉතා අගය කොට සලකනු ලැබේ. ජපන් සමාගම් වලින් 45% කට ආසන්න ප්‍රමාණයක් විදේශීය තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් බඳවා ගැනීමට කැමැත්තෙන් පසු වේ.
සමස්තයක් වශයෙන්, ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රම හිඟය පිරවීම සඳහා ජපානය ලක්ෂ සංඛ්‍යාත විදේශ සේවකයින් (ඉහත ක්ෂේත්‍රවල ඉංජිනේරුවන් ඇතුළුව) පිළිගැනීමට සැලසුම් කරයි.විවිධ සමාගම් මඟින් විවිධ තරඟකාරී වැටුප් සහ ප්‍රතිලාභ ලබා දෙන බැවින් මෙය ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ඉතාමත් වටිනා අවස්ථාවකි. සැලකිය යුතු ලෙස, ජපානයේ මාසික වැටුප් මැද පෙරදිග රටවලට වඩා කිහිප ගුණයකින් වැඩි ය. එපමණක් නොව, ජපානයේ විදේශීය සේවකයන්ට සාමාන්‍යයෙන් ජපන් සේවකයින්ට සමානව සලකනු ලබන අතර, එකම මට්ටමේ වැටුප්, රැකියා සුරක්ෂිතභාවය සහ සුභසාධනය භුක්ති විඳීමට හැකියාව ඇත.
🍀ජපානයේ රැකියාවක් බලාපොරොත්තු වන ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ප්‍රධාන උපදෙස්
ජපානයේ ඉංජිනේරු රැකියාවක් ලබා ගැනීම සඳහා උපාධියක් හෝ තාක්ෂණික කුසලතා තිබීමට වඩා වැඩි යමක් ඇතුළත් වේ.
🌸ජපන් භාෂාව ඉගෙන ගැනීම:
ජපන් භාෂාව ඉගෙන ගැනීමට අනිවාර්යෙන්ම ඔබගේ කාලයෙන් ඉඩක් ලබා දෙන්න. අවම වශයෙන් එදිනෙදා සංවාද මට්ටමකට එනතෙක් ජපන් භාෂාව ඉගෙන ගත යුතුය. ජපානයේ සමහර තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු රැකියා සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රමාණවත් වුවද, ජපන් භාෂා ප්‍රවීණතාවය ඔබේ රැකියා සහ දෛනික ජීවිතයේ පහසුව බෙහෙවින් වැඩි කරයි. රැකියා ස්ථානයේ එකිනෙකා අතර සන්නිවේදන බාධක හේතුවෙන් ජපන් භාෂා දැනුම අඩු විදේශකයින් බොහෝ ගැටළු වලට මුහුණ පෑමට ඉඩ ඇත. හැකි නම් ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය (JLPT) N3 හෝ N2 මට්ටම සඳහා ඉලක්ක කිරීමට වග බලාගන්න. ජපන් භාෂා ප්‍රවීණතාවය ඉංජිනේරුවන් සඳහා නිල වීසා අවශ්‍යතාවයක් නොවුනත්, ජපන් භාෂාව කතා කිරීම සම්මුඛ පරීක්ෂණ සහ එදිනෙදා ජිවිතයට මෙන්ම රැකියාව සඳහා උපකාරී වේ.
🌸ජපන් සංස්කෘතිය අවබෝධ කරගැනීම:
ජපන් සේවා ස්ථානවලට සුවිශේෂී සම්මතයන් ඇත. වෙලාවට වැඩ කිරීම, ඉහළ තනතුරු සඳහා ඇති විශේෂ ගෞරවය, කණ්ඩායමක් ලෙස වැඩ කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ අවධානයක් යොමු කෙරේ. ඔබ ජපානයට යාමට පෙර, මේ කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න. පොදු ප්‍රවාහනයේදී හෝ පොදු ස්ථාන වල වගේම සේවා ස්ථානයේ ශබ්ද නඟා කතා කිරීම, අන් අයට බාධාවක් වීම, කණ්ඩායමක් ලෙස කටයුතු නොකිරීම, ජපන් ආචාරවිධි අනුගමනය නොකිරීම ආදිය ඔබගේ ජපන් ජීවිතට බාධාවක් විය හැකිය. ශ්‍රී ලාංකික සේවකයින් සමහර අවස්ථාවලදී සංස්කෘතික වශයෙන් වැරදි වැටහීම් (උදා: පොදු ප්‍රවාහනයේදී ඝෝෂාකාරී ලෙස හැසිරීම, ජපන් ආචාරවිධි පුරුදු නොකිරීම) හේතුවෙන් ජපන් ජාතිකයන්ගේ ආප්‍රසාදයට පත් වන අවස්ථා දක්නට ලැබේ. සංස්කෘතික අවබෝධය සහ නම්‍යශීලිතාවය මෙන්ම වෘත්තීයභාවය පෙන්නුම් කිරීම ඔබට ජපන් සමාජය තුළ ඉහල පිළිගැනීමක් ලබා ගැනීමට හේතු වේ. ආචාරශීලී ජපන් වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරීම, ඇඳුම් පැළඳුම් වල පිළිවෙළ බව, පිරිසිදු කම සහ ඉගෙනීමට කැමැත්ත පෙන්වීම වැනි සරල ක්‍රියා ජපන් සේවා යෝජකයින් කෙරෙහි ධනාත්මක හැඟීමක් ඇති කරයි.
🌸රැකියා සොයා ගැනීමට නිවැරදි ක්‍රමයක් අනුගමනය කිරීම: විදේශ රැකියා වල සංකීර්ණත්වය සැලකිල්ලට ගෙන, නීත්‍යානුකූල බඳවා ගැනීමේ මාර්ග අනුගමනය කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. ඔබට රජය විසින් හඳුන්වා දෙන රැකියා වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය (SLBFE) හරහා අයදුම් කළ හැකිය. නැතහොත් විශ්වාසදායක පෞද්ගලික ආයතන භාවිතා කළ හැකිය. ඊට අමතරව, ජපන් රැකියා සඳහා විශේෂිත වූ වෙබ් අඩවි හරහාද උත්සාහ කර හැකිය. GaijinPot, Jobs in Japan, LinkedIn සහ Japan Dev වැනි වෙබ් අඩවි වල විදේශිකයන් සඳහා විවෘත ඉංජිනේරු පුරප්පාඩු සිය ගණනක් ලැයිස්තුගත කර ඇත. LinkedIn හෝ ආදි ශිෂ්‍ය කණ්ඩායම් හරහා ජපානයේ දැනටමත් සේවයේ යෙදෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සමඟ සම්බන්ධ වී මඟ පෙන්වීම් ලබා ගත හැකිය. ඔබට ගැලපෙන නිවැරදි රැකියා අවස්තාවක් ලබා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බැවින් ඉවසිලිමත් භාවය සහ උත්සාහය ඉතා වැදගත් ය.
🌸අත්දැකීම් සහ කුසලතා ගොඩනැගීම:
ජපන් සේවා යෝජකයින් උපාධි පමණක් නොව, ප්‍රායෝගික අත්දැකීම් සහ ජාත්‍යන්තරව පිළිගත් කුසලතා ද සැලකිල්ලට ගනී. ඔබ මෑතකදී උපාධිය ලබා ගත් උපාධිධාරියෙකු නම්, ශ්‍රී ලංකාවේ (හෝ වෙනත් රටක) වසර කිහිපයක් සේවය කිරීම සලකා බලන්න. ජපන් සමාගම්වල හෝ ජපන් සේවාදායකයින් සම්බන්ධ ව්‍යාපෘතිවල ඕනෑම අත්දැකීමක් විශේෂ සුදුසුකමකි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා, ITPEC/ITEE (ජපානයේ පිළිගත් ප්‍රමිතිගත IT විභාගයක්) වැනි සහතික ලබා ගැනීම ඔබව කැපී පෙනීමට හේතු වේ. වෙනත් ක්ෂේත්‍රවල ඉංජිනේරුවන් සඳහා, වෘත්තීය සහතික කිරීම් (උදා: වරලත් ඉංජිනේරු තත්ත්වය, AUTOCAD වැනි මෘදුකාංග වල ප්‍රවීණත්වය, ව්‍යාපෘති කළමනාකරණ සහතික) සහ ඔබ දායකත්වය ලබා දුන් ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් ශක්තිමත් ජීව දත්ත පත්‍රිකාවක් සේවා යෝජකයින් තුළ විශ්වාසයක් ඇති කිරීමට සමත් විය හැකිය. බොහෝ විට මාර්ග ගතව සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන අතර එහිදී ඔබගේ භාෂා හැකියාව, ගැටළු විසඳීමේ හැකියාව ආදිය නිරීක්ෂණය කෙරේ.
🌸මූල්‍යමය හා පෞද්ගලික සූදානම:
භාෂා විභාග සඳහා වන වියදම්, ලේඛන සැකසීම සහ පරිවර්තන කටයුතු සඳහා වන වියදම්, විසා කටයුතු සඳහා වැය වන වියදම් මෙන්ම ගුවන් ටිකට් පත් සඳහා වැය වන වියදම් වැනි මුලික වියදම් සඳහා ඔබ මුල්‍යමය වශයෙන් සූදානම් විය යුතුය. එමෙන්ම ජපානයට ගිය පසු පලවෙනි වැටුප ලැබෙන තෙක් ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් ද සුදානම් කර ගත යුතුය. මේ සඳහා ජපානයේ දැනටමත් වෙසෙන ඔබගේ හිත මිතුරෙක්ගෙන් කරුණු විමසා සිටීම වඩාත් පහසු වේ. ජපානයට පිටත් වීමට පෙර ඔබට පැහැදිලි කොන්ත්‍රාත්තුවක් සහ ස්ථාවර රැකියා දීමනාවක් ඇති බව තහවුරු කරගැනීම ඉතාමත් වැදගත්ය. තවද සමාගම විසින් නිවාස ආදී වෙනත් මුලික ජීවන අවශ්‍යතා සඳහා සහය වන්නේද නැද්ද යන්න තහවුරු කර ඒ අනුව සුදානම් වන්න. මිට අමතරව ඔබ යන ප්‍රදේශයට හා ඍතුවට අනුව දේශගුණය වෙනස් බැවින් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, බෙහෙත් ආදිය සූදානම් කරගැනීමද ඉතා වැදගත්ය.
🍀අවසාන වශයෙන්, විවෘත මනසක් සහ ධනාත්මක ආකල්පයකින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. මොනයම් රටක් වුවත් විදේශගත වීම අභියෝගාත්මක ය. නමුත් නොපසුබට අධිෂ්ඨානයෙන්, ඔබට ඔබගේ ඉලක්ක ලඟා කරගත හැකි අතර අනාගතයේදී තවත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සඳහා මග පෑදිමට ඔබට දායකත්වය ලබා දිය හැකිය.